මාධ්‍ය වාර්තා වලට පිළිතුරු : ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ණය පියවා දමා අවසන් – ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

February 5, 2021 at 1:47 PM

ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි. එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු ණය මුදලක් ලබා ගනු ලැබුවා.

මුදල් පියවීම සඳහා ඉන්දියාව වැඩි කාලයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළද, මේ සතිය මුලදී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය පිළිබඳ වූ ගිවිසුම අවසන් වීමෙන් පසු ඉන්දියාව ද එම ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමෙන් වැළකී සිටින බවට රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වාර්තා කර සිටියා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සංවර්ධනය හා කළමනාකරණය සඳහා 49% කොටස් ඉන්දියානු සමාගමකට ලබා දීමට මුලදී එකඟ වූ අතර ශ්‍රී ලංකාව ඉතිරි 51% කොටස් රඳවා තබා ගනු ලැබුවා.

කෙසේ වෙතත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනය කළේ ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම විසින් නියමයන් සහ කොන්දේසි පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එම නිසා ගනුදෙනුව අවලංගු කර ඇති බවයි. ඒ අනුව නැගෙනහිර පර්යන්තය 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන බවයි අගමැතිවරයා කියා සිටියේ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ නැගෙනහිර වරාය පර්යන්තය පිළිබඳ 2019 දී අත්සන් කරන ලද ගිවිසුමට අනුව කටයුතු කිරීමට පියවර ගනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.