විවාහ මංගල්‍ය උත්සවයක් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර කොවිඩ් බියක්

February 4, 2021 at 12:56 PM

ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීමට ඉඩ තිබෙන බවට වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.

පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණ යේදී ඔවුන් දෙදෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

මොවුන් දෙදෙනා අද දිනයේදී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රීතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සධිර සමරවික්‍රම ගේ විවාහ මංගලෝත්සවය පසුගියදා පැවති අතර ඊට කොවිඩ් වෛරසය ආසාදනය වූ ලහිරු තිරිමාන්න සහභාගිවී තිබෙනවා. මේ හේතුවෙන් එම විවාහ මංගල්‍ය සඳහා සහභාගිවූ සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් හට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගේ විවාහ මංගල්‍ය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබුණා. මේ වන විට කුසල් මෙන්ඩිස් ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිසා විවාහ මංගල්‍ය කල් යනු ඇති බවයි වාර්තා වන්නේ.