නිදහස් උත්සවය සැමරීමට සුදානමින් සිටි මාධ්‍යවේදීන් 08 දෙනෙකුට කොරෝනා

February 4, 2021 at 8:15 PM

73 වන ජාතික නිදහස් දින රාජ්‍ය සැමරුම් උළෙල ආවරණය කිරීමට සූදානමින් සිටි මාධ්‍යවේදීන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

නිදහස් උළෙල ආවරණය කිරීමට අපේක්ෂාවෙන් සිටි මාධ්‍යවේදීන් 200කට ආසන්න පිරිසකට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව උපුටා දක්වමින් ‘මව්බිම’ වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

මූලික වටයේ දී කොරෝනා ආසාදිත බවට සැකසහිත මාධ්‍යවේදීන් 18 දෙනෙකු හඳුනාගත් බවත් පසුව ඒ අතරින් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ බවත් නාලක කලුවැව ප්‍රකාශ කර ඇත.

ඔවුන් අතරින් බහුතරයක් විද්‍යුත් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් වන බව ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

අදාළ මාධ්‍යවේදීන් සේවය කරන මාධ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව වැඩිදුරටත් සඳහන් කර සිටියා.