ව්‍යාජ කොරෝනා එන්නත් 3000ක් සමග චීන ජාතිකයින් 80ක් අත්අඩංගුවට

February 3, 2021 at 12:26 PM

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ බව කියන ව්‍යාජ එන්නත් තොගයක් සමග පුද්ගලයින් 80 දෙනෙකු චීන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව චීනයේ Xinhua ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටිනවා.

මෙම මෙහෙයුම් වලදී කොරෝනා එන්නත් යනුවෙන් හඳුන්වනු ලැබූ ව්‍යාජ එන්නත් මාත්‍රා 3,000 කට වැඩි ප්‍රමාණයක් ද චීන පොලීසිය විසින් සොයා ගෙන ඇත.

කොරෝනා වෛරසයට එරෙහි ඖෂධය වෙනුවට සේලයින් ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මෙහෙයුම ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කළ බවයි Xinhua පුවත් සේවය වාර්තා කර සිටියේ.

චීනයේ බීජිං අගනුවර, ෂැංහයි සහ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් හි ස්ථාන කිහිපයක චීන පොලිසිය විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.

අදාළ ව්‍යාජ එන්නත් විදේශ රටවලට යොමු කිරීමටද සැකකරුවන් සැළසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි Xinhua පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.