ජනාධිපතිවරයා ඇතුළු පිරිසට අපහාස කිරීමේ චෝදනාවට CID අත්අඩංගුවට පත්වූ දෙහිවල ව්‍යාපාරිකයා ගැන තොරතුරු රැසක් හෙළිවේ

February 2, 2021 at 8:38 AM

ජනාධිපතිවරයාට සහ ආගමික නායකයන්ට අපහාස කළැයි රඳවාගෙන ප්‍රශ්න කරන ව්‍යාපාරිකයා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියෙන් තොරව රහසිගත සන්නිවේදන ජාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව අධිකරණයේදී ඊයේ (01) අනාවරණය වූ බවට “අරුණ පුවත්පත” වාර්තා කර සිටිනවා.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙලෙස අපහාස කළ බව කියන මෙම පුද්ගලයා මේ වනවිට CIDය භාරයේ පසුවනවා.

මොහොමඩ් නසාල් නිසාර් නමැති සැකකාර ව්‍යාපාරිකයා පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලය මගින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සමග රහසිගත සබඳතා පවත්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් වෙත දැනුම් දුන්නේ.

මෙම සන්නිවේදන ජාලය උපයෝගී කරගෙන පුද්ගලයන් 494 දෙනකු සමග සබඳතා පවත්වා ඇති බවත්, ඒ අතර දේශපාලනඥයකු සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියේ.

සැකකරු අදාළ සන්නිවේදන ජාලය පවත්වාගෙන ගොස් ඇත්තේ, එහි සිටින පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි නොවන ආකාරයට බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව දන්වා සිටියේ.

සැකකාර ව්‍යාපාරිකයා අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර්ජාලයෙන් කළ ක්‍රියාවන් රැසක තොරතුරු පොලිස් භාරයේ ඇති ඔහුගේ පරිගණක උපාංග සහ දුරකථන මගින් හෙළිවී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

සැකකරු සම්බන්ධයෙන් කරන පරීක්ෂණවල වාර්තාවක් මෙම 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න අධිකරණයට කරුණු වාර්තා කළේ.

( අරුණ පුවත්පත)