බැහැයි කියද්දී දකුණු අප්‍රිකානු සංචාරයට යැව්වේ : කල්ලි වලට කැඩිලා හිටිය කණ්ඩායම එකතු කරන්නයි දිමුත් නායකත්වයට පත් කලේ – අසන්ත ද මැල් හෙළි කළ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතුල් පැත්ත (VIDEO)

February 2, 2021 at 2:02 PM

දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දැනුම් දී තිබියදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ගේ අවශ්‍යතාවය මත එය ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මැල් ප්‍රකාශ කර සිටිනවා.

පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

” ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ දාට පසුවදා අපි දකුණු අප්‍රිකානු සංචාරය බලා පිටත් වෙන්න නියමිතව තිබුණා. මුලින්ම මේ සම්බන්ධයෙන් අපි සාකච්ජා කිරීමේදී තීරණය කර තිබුනේ තරග සංචාරයට සහභාගී වෙන්නේ නැහැ කියලා. විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කරලා කිසිම පුහුණුවක් නැතුව දකුණු අප්‍රිකාවට ගියපු කණ්ඩායමට එහෙදි පුහුණු වෙන්න ලැබුනේ එක දවසයි.

මේ ගැන ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිකට් ආයතනයට ලිපියකින් දැනුම් දුන්නා. මේ තරගාවලියට යන්න නොහැකි කියලා. නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ උවමනාව මත අපේ ක්‍රිකට් ආයතනයේ කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාවය නිසා මෙම සංචාරය නියැලෙන්න සිදුවුණා.” යැයි හිටපු තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.

ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ගේ ගැටළු නිසා කණ්ඩායම කල්ලි කිහිපයකට කැඩිලා තිබුනේ. මේක 2016 -2017 වගේ ඉදල තිබුන දෙයක්. මම ඇවිල්ලයි දිමුත් කරුණාරත්නව නායකත්වයට පත් කරලා කල්ලි වලට කැඩිලා හිටිය කණ්ඩායම එක්කාසු කලේ, අසන්ත ද මැල් හිටපු තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.

විශේෂයෙන්ම පසුගියදා අවසන් වූ එංගලන්ත තරග සංචාරයේ දී මම හිටපු නායක අර්ජුන රණතුංග සමග පැයක කාලයක් දුරකථන සංවාදයක් තිබ්බා. එහිදී මම අර්ජුන ගෙන් ඇහුවා ඔබ කණ්ඩායමේ නායකයා නම් මේ අවස්ථාවේදී මොනාද කරන්නේ කියලා?

අර්ජුන තමන්ගේ ක්‍රිකට් දැනුම් එක්ක අත්දැකීම් මාත් එක්ක බෙදා ගත්තා. ඒ සෑම කරුණක්ම ක්‍රියාත්මක කරන්න අපිට බැරි උනත් පුළුවන් උපරිම දේ කරන්න ක්‍රියා කළා.

ඒ වගේම මහේල සහ සංගක්කාරට අවුරුද්දක කාලයක් කැපවෙලා ආපහු ශ්‍රී ලංකා ක්‍රිකට් වල තත්ත්වය ඉහලට ඔසවා තබන්න ක්‍රියා කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මම ඒ දෙන්නත් එක්ක වැඩකරලා තියෙනවා. ලොකු දැකීමක් තියෙන ක්‍රීඩකයින් දෙන්නෙක්.

විශේෂයෙන්ම මහේල. ඔහුට තියෙනවා හොද ඇහැක්. ඔහු කණ්ඩායමට එකතු කරගන්නේ දක්ෂයින්, ඒ නිසයි මුම්බායි ඉන්දියන් කණ්ඩායම වුනත් ජයග්‍රහණය කරන්නේ. හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.