කිඹුලා ඇලේ ගුණා ඇතුළු සංවිධානත්මක අපරාධකරුවන් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

February 2, 2021 at 11:25 AM

ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ජාත්‍යන්තර පොලිසියසහ ඉන්දියානු පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

මිට අමතරව පාතාල වෙඩික්කරුවකු වූ “බුම්බා” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයෙකු ද අත්අඩංගුවට ගෙන් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළේ ගුණා 90 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රකට අපරාධකරුවෙකු ලෙස පොලිසිය හඳුන්වනු ලබනවා. කිඹුලා ඇළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාලයට පිවිසි නිසා පාතාල ලෝකයේ ඔහුව හැඳින්වූයේ කිඹුලා ඇළේ ගුණා යනුවෙනි. 2008 වසරේ මොහු ඉන්දියාවට පැන ගිය මොහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලීම සිදුකරනු ලැබුවා.

විදේශ රටවල සැඟවී මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියේ.