කැමරාවේ සටහන් වූ මියන්මාර හමුදා කුමන්ත්‍රණය (VIDEO)

February 2, 2021 at 5:11 PM

මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු මොහොත නොදැනුවත්ව ම රූගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ හේතුවෙන්, අදාළ නර්තන ශිල්පිනිය ලොව පුරා කතා බහට ලක්වන මාතෘකාවක් බවට ද පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ගුරුවරිය ව්‍යායාම සඳහා යොදා ගත් ඉන්දුනීසියානු ගීතය, අහංකාර හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ආකාරයේ එකක් වීම දෛවෝපගත සිද්ධියක් ද වනවා.

කිං හින් වයි නමැති කාන්තාවක මෙම ව්‍යායාම රූගත කිරීම සිදු කර ඇති අතර එහි පසුබිම කළු පැහැති හමුදා රථ ආරක්ෂක මුරපොළ වෙත යන ආකාරය දර්ශනය වනවා. කෙසේ වෙතත්, එම දර්ශන අනුව තමන් පසුපස සිදු වන සිද්ධිය පිළිබඳව එම කාන්තාව කිසිවක් දන්නා බවට පෙනී යන්නේ නැහැ.

එම කාන්තාව ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරියක වන අතර මාස 11ක පමණ කාලයක සිට මෙම ස්ථානයේ ව්‍යායාම්වල නිරතව ඒවා රූගත කර ඇති බව ඇය සඳහන් කර සිටිනවා.

ඊයේ උදෑසන මියන්මාරයේ පාලනය අත්පත් කර ගැනීමට එරට හමුදා කටයුතු කළ අතර එහි මුල් ම පියවර ලෙස එරට අගනුවර පිහිටි පාර්ලිමේන්තුව ඔවුන් සතු කර ගන්නා ලදී.

ආවුන් සාං සූ කී ඇතුළු එරට දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද එහිදී හමුදා භාරයට ගනු ලැබූවා.

මේ හේතුවෙන් මියන්මාරයට සම්බාධක පැනවීමට පියවර ගන්න බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අනතුරු අඟවා තිබෙන අතර ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයින් මෙම හමුදා කුමන්ත්‍රණය හෙලා දකිමින් නිවේදන නිකුත් කර තිබෙනවා.