ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප සීයයට 40 කින් කප්පාදු කෙරේ – දිවයින පුවත්පත වාර්තා කරයි

February 2, 2021 at 8:24 AM

කොන්ත‍්‍රාත් ගත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වැටුප් 40%කින් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තබේ. එ් අනුව නිමා වූ තරගවලදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් දැක් වූ දුර්වල ක‍්‍රීඩා විලාශය හේතුවෙන් මෙම පියවර ගැනීමට ක‍්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බවටයි “දිවයින පුවත්පත” වාර්තා කර සිටින්නේ.

අදාළ කප්පාදු කිරීමේ තීරණයට අනුව කී‍්‍රඩකයෙකුගේ වාර්ෂික කොන්ත‍්‍රාත් ගත වැටුපෙන් අඩක් පමණ අඩු කිරීමට අපේක්ෂා කර තිබේ. එ් අනුව අමෙරිකානු ඩොලර් 120,000ක වාර්ෂික කොන්ත‍්‍රාත්තුවකට හිමිකම් කියන ක‍්‍රීඩකයෙකුගේ කොන්ත‍්‍රාත් වටිනාකම අමෙරිකානු ඩොලර් 70,000 දක්වා පමණ මෙහිදී පහළ යනු ඇත. මීට අමතරව ටෙස්ට් තරගයක් සඳහා ඩොලර් 7,500ක මුදලක් ද, එක්දින තරගයක් සඳහා ඩොලර් 4000 ක මුදලක් ද, 20යි20 තරගයක් සඳහා ඩොලර් 2000 ක මුදලක් ද ක‍්‍රිකට් ආයතනය විසින් ක‍්‍රීඩකයන්ට ගෙවනු ලබේ.

කෙසේ වෙතත් දක්ෂතා මත පදනම්ව කී‍්‍රඩක දීමනා ලබා දීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇති පසුබිමක ක‍්‍රිකට් බලධාරීන් මෙලෙස වැටුප් කප්පාදුවකට සූදානම් වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙතින් විරෝධතා එල්ල වී තිබේ.

එසේ වුවද වසරින් වසර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කොන්ත‍්‍රාත්තු වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විශාල පිරිවැයක් ගෙවනු ලබයි. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධික මුදල් ඉකුත් වසරේ කොන්ත‍්‍රාත් ගත කී‍්‍රඩකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැය කර තිබෙන අතර අදාළ තීරණය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩා ආමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව ජයග‍්‍රහනවලදී තරග ගාස්තු දෙගුණයකින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමුව ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සමග කොන්ත‍්‍රාත් ගත ක‍්‍රීඩකයන් සංඛ්‍යාව සියයකට ආසන්නව සිටියි. එහිදී ප‍්‍රධාන වශයෙන්ම කොන්තාත් ගත ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 30 ක් වේ. එම ක‍්‍රීඩකයන් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ‘ඞී’ යන කාණ්ඩවලට අයත් කර ඇති අතර ඒ අනුව ඒ කාණ්ඩයට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩයන් ඇතුළත්ව තිබේ.

( දිවයින පුවත්පත)