මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් : අවුන්සාන් සුකී සහ මියන්මාර ජනපති හමුදා අත්අඩංගුවට

February 1, 2021 at 8:38 AM

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයාව වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අවුන්සාන් සුකී ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද අළුයම් කාලයේදී මියන්මාර හමුදා සාමාජිකයින් විසින් එරට ජනාධිපතිවරයාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ නායිකා අවුන්සාන් සුකීව ඔවුන්ගේ නිවෙස් වල සිටියදී සිය අත්අඩංගුවට ගෙන් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර AFP ප්‍රවෘත්ති සේවය නිවේදනය කර සිටියේ මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මාධ්‍ය මගින් සිය රටවැසියන්ට දැනුම් දුන් බවයි.

නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය වංචනික බව පවසමින් එරට හමුදාව දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළ අතර වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුවුවා. මෙම තත්ත්වය හමුවේ දශක 05 කට ආසන්න කාලයක් මියන්මාරය පාලනය කරනු ලැබූ මියන්මාර හමුදාව යලි රටේ පාලනය තම අතට ගෙන තිබීම යම් අයුරකින් හමුදා කුමන්ත්‍රණයක් ලෙස ද දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ ඇය මියන්මාර හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම අදහස් දැක්වූ ප්‍රධාන චරිතයක්. මේ හේතුවෙන් ඇයට 1989 වසරේ සිට 2010 දක්වා වසර 15ක කාලයක් නිවාස අඩස්සියේ සිටීමට සිදුු වුණා.
කෙසේවෙතත් 1991 වර්ෂයේදී ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණේ නිවාස අඩස්සියේ සිටියේදීමයි. ඒ, මානව හිමිකම් සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ හඬනැගීම හේතුවෙන්.