නැගෙනහිර පර්යන්තය : අවබෝධතා ගිවිසුම අනුව කටයුතු කරන්නැයි ඉන්දියාව ලංකාවට කියයි

February 1, 2021 at 7:41 PM

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පවත්නා අවබෝධ සහ කැපවීම දිගටම පවත්වා ගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු නිව්ස්වයර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කලේ 2019 මැයි මාසයේදී ඉන්දියානු, ජපාන සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කරන ලද ත්‍රෛපාර්ශ්වික සහයෝගීතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ අපේක්ෂාව නැවත අවධාරණය කිරීමට කැමති බවයි. මෙම අවබෝධතා ගිවිසුමට රටවල් තුන අත්සන් තබනු ලැබුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහායි.

නායකත්ව මට්ටමින් ද ඇතුළුව මෑත කාලසීමාවේදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කලේ.

මෙම ව්‍යාපෘතිය විදේශීය ආයෝජකයින් සමඟ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද මීට මාස තුනකට පෙර තීරණයක් ගෙන තිබු බවත් පවත්නා අවබෝධය හා කැපවීම සෑම පාර්ශ්වයක්ම විසින් දිගටම පිළිපැදිය යුතු බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වරාය සුරැකීමේ වෘත්තීය සමිති සමග සිදුකළ සාකච්ජාවෙන් පසු අද කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.