ලංකාවේ අවංකම රාජ්‍ය නිලධාරිනිය

January 31, 2021 at 8:34 AM

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ලොව පුරා විහිදී ඇති සංවිධානයකි. එහි ශ්‍රී ලංකාවේ ආයතනය වාර්ෂිකව ලංකාවේ අවංකම රාජ්‍ය නිලධාරිනිය තෝරන්නීය. 2020 සුපිලියන් ප්‍රණාම සම්මාන උළෙලේදී ගාල්ලේ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර අවංකම රාජ්‍ය නිලධාරිනියට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. මේ ඒ සම්බන්ධයෙන් ” සති අග අරුණ” පුවත්පත ගෙනා වාර්තාවයි

ජනතාවට ආදරය කරන්නට හැකි තරමේ හිතක් ඇය සතු විය. ඒ නිසාම රැයක්, දවාලක් නොමැතිව ඕ සේවය උදෙසා කැප වුණේ තම වගකීම් මොනවාද යන්න මනාව වටහා ගනිමිනි.

ඇය විටෙක ඍජු තීරණ ගන්නා යකඩ සිත් ඇත්තියක ලෙසද, තවත් විටෙක මානව දයාවෙන් පිරිපුන් දයාබර කාන්තාවක ලෙසද නොයෙක්වර පැසසුමට ලක් වූවාය.

‘‘බද්දේගම ප්‍රාදේශීය ලේකම්වරිය විදිහට මට පත්වීම ලැබුණේ 2017 අවුරුද්දෙ. ඉස්සර මම වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන) තනතුරේ කටයුතු කළා. ඒ කාලය තුළ දෙපාර්තමේන්තු නිලධාරින්ගේ කටයුතු යාවත්කාලීන කරන්න විශේෂ වැඩපිළිවෙළක් සැකසුවා. ඒ වගේම නවක නිලධාරින් හාරසිය දෙනෙක් ඒ කාලය තුළ බඳවා ගත්තා. ඔවුන්ව බඳවා ගත්තේ දේශපාලනඥයන්ගේ ලිපිවලට නෙවෙයි, නියම සුදුසුකම්වලට අනුව තරග විභාගයක් පවත්වලයි. දේශපාලන ලිපි තිබුණට ඒ ඔස්සේ පත්වීම් දෙන්න ගියේ නැහැ. මම කියන්නේ දේශපාලන බලපෑම්වලට යටත් නොවී, සෑම රාජ්‍ය නිලධාරියකුටම අවංකව රාජකාරියට කැපවී කටයුතු කළ හැකියි කියන එක.’’

ඉනෝකා හිමාලි රත්නවීර බද්දේගම ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස පත්වීම් ලබන්නේ 2017 වසරේදීය. වසර එකහමාරක් පමණ එහි සේවය කළ ඇය ජනතාවගේ ඉඩම් ගැටලු රැසක් විසඳා දුන්නේ රාජ්‍ය සේවයේ උපරිම කැපවීම, අවංකකම සහ බලපෑම්වලට යටත් නොවන විශේෂී ගුණාංග රැසක් පෙන්වමිනි.

‘‘තමන් හරියට, ජනතාවට සේවය කරනවා නම් ඒ සේවය අවංකවම සලසවන්න ඕනෑ. මට මතකයි එක් අවස්ථාවක නැතිබැරි ජනතාවට බෙදන්න කියලා පරිත්‍යාගශීලීන්ගේ ආධාර විදිහට බඩු මලු වගයක් ලැබුණා. ප්‍රදේශයේ එක්තරා දේශපාලනඥයෙක්, ඒවා ඔහු ජනතාවට බෙදලා දෙන්නම් කියලා මගෙන් ඉල්ලුවා. මම ඔහුට එය වැරදියි කියලා පහදලා දුන්නා. ඔහු ගියේ මාව වෙන පළාතකට මාරු කරනවා කියලයි. ඒ කොහොම නමුත් මම ඒ වෙලාවේ එම දේශපාලනඥයට කිව්වා මම භාෂා තුනම දන්නවා. මට මේ රටේ ඕනම තැනක රාජකාරි කටයුතු කරන්න පුළුවන් කියලා.’’

ඇය ප්‍රාදේශීය ලේකම්වරිය වුවත් තම සහෝදර නිලධාරින් සමග සුහදව සහයෝගයෙන් කටයුතු කරන නිලධාරිනියකි. ඒ එකමුතුකම, සහෝදරත්වය මෙන්ම නායකත්ව ලක්ෂණ ඇයට ලැබෙන්නේ ක්‍රීඩාව තුළිනි. ඇය වොලිබෝල්, නෙට්බෝල්වලට වර්ණ ලබාගත් ක්‍රීඩිකාවකද වන්නීය. මේ දක්වාම ඒ ක්‍රීඩා කෞශල්‍යයන් ඇගෙන් ගිලිහී ගොස් නැත.

ඉනෝකා රත්නවීර ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ 2018 මැද භාගයේයි. එහි පැමිණි ඔහු කාන්තාවන් මෙන්ම සමාජයේ අවධානය යොමුවිය යුතු පිරිස වෙතට විවිධ ව්‍යාපෘති හඳුන්වා දෙමින් ඔවුන් නගා සිටුවන්නටත්, ඔවුන්ගේ රාජකාරිමය ගැටලු විසඳා දෙන්නටත් ඇය කැපවී කටයුතු කරන්නීය.

‘‘අපේ රටට කොරෝනා ඇවිත් ඇඳිරිනීතිය දාපුදාට පහුවෙනිදාම ජනතාවට අවශ්‍ය මාළු එළවළු ටික ජංගම රථවලින් නිවෙස් වෙත ගෙන යමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූවා. ඒ සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාවට අදාළ කටයුතු පිළිබඳ අවධානය යොමු කරමිනුයි.’’

මේ අයුරින් තම තනතුරේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ඇය, රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. කලක් ජපානයේද අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ සමත් වන්නේ තංගල්ල බාලිකාවෙනි. දෙදරු මවක වන ඇයගේ සැමියා පෞද්ගලික අංශයේ රැකියාවක නිරතය.

‘‘මිනිසුන්ට සේවයක් කරලා ඔවුන්ගේ හදවතේ ජීවත් වෙන එක සම්මානයක් තරමටම වටිනවා. මේ තරගයේ අවසන් පස්දෙනා තෝරා ගත්තේ එස්.එම්.එස්වලින්. මහජනතාවටයි එම අවස්ථාව ලැබුණේ. අවසන් පස් දෙනා තේරෙද්දී ජනතාවගේ ආදරය, කෘතවේදී බව මොනතරම් ද කියලා මම දැන ගත්තා. තෝරාගත් රාජ්‍ය නිලධාරින් පස්දෙනා අතරිනුත් මම පළමුවෙනියා කියලා දැනගත්තේ සම්මානය ලබා ගන්න මොහොතකට පෙරයි. ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැනුණා. ඒ මගේ වසර තිස්පහක රාජ්‍ය සේවයට ලැබුණු ඇගයීමක් හැටියටයි, එය දැනුණේ.’’

ඇය තම රාජකාරි කටයුතු අකුරට ඉටුකරනවා මෙන්ම, ගෙදර දොර කටයුතු මනාව කළමනාකරණය කරගත් තැනැත්තියකි. කොතරම් රාජකාරී තිබුණත්, දවසේ ආහාර වේල පිසින්නේ ඇය අතිනි. එහිදී දරුවන්ගේ පෝෂණය ගැන ඉහළ සැලකිල්ලක් දක්වන බවද කීවාය.

ආගමට, දහමටද මුල්තැන දෙමින් කටයුතු කරන ඉනෝකා හිමාලි රත්නවීර කියන්නේ තමන් විශ්‍රාම ගිය දිනක තමා ඉටුකළ රාජකාරී දෙස නැවත සිතා බලා අවංකවම සතුටු වෙන්නට හැකිනම් ඒ අවංකම රාජ්‍ය නිලධාරිනිය ලෙස තමන් ලද මේ සම්මානයට දිය හැකි ගෞරවය බවයි.