සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද සාවද්‍ය පුවතක් : නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්

January 31, 2021 at 1:26 PM

කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇති බවට ඇතැම් වේබ් සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව නොමඟ යැවීමේ අදහසින් ප්‍රචාර සිදුකර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එචි රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

කොව්ඩි වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ජිවිත අවදානම ද නොතකා වෛරසය එරෙහිව සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට හා ඊට අදාල වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත් එලෙස රටේ ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට කැපවී කටයුතු කර අද වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබදව මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය කරමින් පළ කිරීම ජනතාව විසින් ද කිසිසේත් අනුමත නොකරනු ලබයි සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ මාධ්‍ය ලේකම්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.