දින 07ක් තුල පාර්ක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී සේවයෙන් ලක්ෂ 04කට අධික ආදායමක්

January 31, 2021 at 8:38 AM

පාර්ක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ වී ගත වූ දින හතක කාලයේ මගීන් හත්දහස් අටසිය හතලිහක් (7840) එහි ගමන් කර ඇති අතර එයින් රුපියල් හාරලක්ෂ පනස් හත්දහස් නවසිය අනූවක ආදායමක් ලබා ඇති බවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

පසුගිය 18 වැනිදා සිට 26 වැනිදා තෙක් වූ දින හතක කාලය තුළ මෙම ආදායම ලැබී ඇතැයිද වැඩිම මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇත්තේ ඉකුත් 26 වැනිදා බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස උපුටා දක්වමින් “අරුණ පුවත් පත” වාර්තා කර සිටින්නේ.

එදින මගීන් 1146 දෙනකු මෙම බස් සේවයේ ගමන් කර ඇතැයිද බස් සේවයේ සියයට තිහක පමණ දියුණුවක් සිදුව ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

කොළඹ මාර්ග තදබදය පාලනය කිරීමේ විකල්පයක් වශයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍රගත වන ආකාරයෙන් ආරම්භ කළ පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව පසුගිය 15 වැනිදා සිට ආරම්භ වුවද එම සේවය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ ඉකුත් 18 වැනිදා සිටය. පසුගිය 18 වැනිදා සිට 27 වැනිදා තෙක් කාලය තුළ මෙම පිිරිස් වාර්තා වී ඇති අතර මෙකී කාලය තුළ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වාහන එක්දහස් අටසිය පනස් අටක් (1858) ගාල් කර ඇතැයි එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් බාර කොළඹ ප්‍රවාහන ජාලා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායක පැවසීය.

ඒ අනුව වැඩිම වාහන සංඛ්‍යාවක් ගාල් කර ඇත්තේ 26 වැනිදා වන අතර එය වාහන 216කි. ඒ අතර මෝටර් රථ 91ක්, යතුරුපැදි 70ක් ත්‍රිරෝද රථ 26ක් සහ වෙනත් වාහන 29ක් වශයෙන් වාර්තා වී ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

(මුලාශ්‍ර : අරුණ පුවත්පත)