රංජන්ගේ සිරකුටියේ ජීවිතය ගැන තොරතුරු

January 30, 2021 at 3:05 PM

සිවු වසරකට බරපතල වැඩ සහිතව සිරගත කෙරුණු රන්ජන් රාමනායක මහතාට මෙතෙක් සිරකරු අංකයක් ලැබී නොමැති බව ශ්‍රී ලන්කන් මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

ඒ පල්ලන්සේන සිර කඳවුරේ සිට අගුණුකොළ පැලැස්ස සිර කඳවුරට රැගෙන ආ ඔහු තවත් දින 14ක කාලයක් නිරෝධායනය කිරීම සඳහා යොමුකර ඇති බැවිනි.

කෙසේවුවද, මේ වන විට අගුණුකොළ පැලැස්සේ සී වාට්ටුවේ රඳවා ඇති රාමනායක මහතාව එම බන්ධනාගාරයේ තනි සිර කුටියක රඳවා සිටින බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියයි.

කෙසේවුවද, අමාත්‍යවරයා පවසන්නේ එහි අනෙක් සිර කුටිවල සිරකරුවන් තිදෙනකු බැගින් රඳවා ඇති බවයි.

මේ අතර එම බන්ධනාගාරයේ මේ වන විට සිරකරුවන් සහ රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් 1,100ක් රඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටී.

සිරදඬුවම් හිමිව සිටින රාමනායක මහතාට පිටතින් ආහාර ලබා ගැනීම ද කළ නොහැකි අතර ඔහුට ඥාතියකු මුණ ගැසිය හැක්කේ මසකට එක්වරක් පැය බාගයක් බවද වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට රන්ජන්ට දහවල් කාලයේදී අනෙක් සිරකරුවන් සමඟ මුහුවීමට අවස්ථාව ලැබී ඇති බවද පැවසේ.

එම අවස්ථාවල සෙසු සිරකරුවන්ගෙන් රන්ජන්ට ලැබෙන පුද සත්කාර හා සැලැකිළි ඉතා ඉහල බවත්, ඔහු සිරගෙය තුළ ද රජයෙකු මෙන් සෙසු අයගේ සහය සහිතව සිටින බවත් වාර්තා වේ.

තනි සිර කුටියේ සිටින රන්ජන්ට නිදා ගැනීමට කොට්ටයක් හා පැදුරක් හා ඇතිරිල්ක් ලැබී ඇති අතර ඔහුට මෙට්ටයක් ඉල්ලා ගැනීමට හැකියාවක් ඇතත් ඔහු මෙතෙක් මෙට්ටයක් හෝ ඉල්ලා ගෙන නැතැයි වාර්තා වේ.

සිය දින චරියාවේ ශාරීරික යෝග්‍යතා සඳහා කාලයක් වෙන්කරගෙ ඇති රන්ජන් පොත් පත්තර කියවීමට ද කාලය යොදවමින් සිටින බව පැවසේ.

( මුලාශ්‍ර : ශ්‍රී ලන්කන් මිරර් වෙබ් අඩවිය)