නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම ගැන ඇමති විමල් ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 10ක් ගත් තීරණය

January 30, 2021 at 8:13 PM

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබෙනවා.

ඒ අමාත්‍ය විමල් වීරවංශ ගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් අද (30) පස්වරුවේ හමුවී කළ සාකච්ඡාවකදීය.

කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද මෙම සාකච්ජාවට එක්විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් විරවංශ කියා සිටියේ කොළඹ වරාය වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවත් එය ඉන්දියාව හෝ වෙනත් කිසිදු රටකට ලබාදීමට එරෙහිව කටයුතු නොකරන බවයි. ඉදිරියේදී මෙම පක්ෂ 10 රටේ පොදු ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටින බවට ද මෙහිදී අමාත්‍ය විමල් විරවංශ කියා සිටියේ.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට කටයුතු කරනවාද යන්න ගැනයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ ආණ්ඩුව මේ දක්වා කිසිදු දෙයක් ඒ ගැන ප්‍රකාශ කර නොමැති බවයි. ඉදිරියට එන ආකාරයට ඊට ද මුහුණ දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.