ප්‍රතිදේහ මට්ටම හොද නම් කොවිඩ් ආසාදිතයින් දින 10න් නිවසට – අරුණ පුවත්පත වාර්තා කරයි

January 29, 2021 at 9:07 AM

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සිරුරුවල ප්‍රතිදේහ මට්ටම ඉහළ යෑම සලකා බලමින් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් මුදා හැරීමේ දින ගණන දින 14 සිට 10 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත. මීට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ ආසාදිතයින් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් සඳහා යොමු කර තිබුණා.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශවලට අනුව, ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින ආසාදිතයින්ට පී.සී.ආර්. පරීක්ෂණ කර දින 10කට පසු ඔවුන්ගේ ප්‍රතිදේහ මට්ටම ඉහළ ගොස් ඇත්නම් මෙසේ දින 10න් මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව යන එම පුද්ගලයින් දින 14ක් සම්පුර්ණ වන තෙක් ඉතිරි දින 04 නිවෙස්වල ස්වයං නිරෝධායනය වීම අනිවාර්ය කර ඇත.

මෙම මාර්ගෝපදේශයන් බන්ධනාගාර රැඳවූවන්ට, වැඩිහිටි නිවාසවල පිරිස් සහ හෝටල්වල අය සඳහා අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අතර ගත වූ දින දෙකේදී මෙරට කොවිඩ් ආසාදිතයින් අතුරින් තුන්දහස් තුන්සිය අසූනවදෙනකු (3389) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (28) දිනයේදී පමණක් 1869 දෙනකු සුවය ලබා ඇති අතර එය දිනක් ඇතුළත සුවය ලැබූ වැඩිම සංඛ්‍යාව වේ.

ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව පනස් හතර දහස් හාරසීය තිස්පහක්.

තවත් ආසාදිතයින් පනස් දහස් නවසිය හැටනවදෙනකු (50969) රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.