පළමු දිනයේදී පුද්ගලයින් 5200 කට කොවිඩ් 19 එන්නත ලබාදේ

January 29, 2021 at 8:07 PM

ඉන්දියාවෙන් පිරිනැමුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අද දිනය තුළ පුද්ගලයින් 5,286 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර ශික්ෂණ රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල, යුද හමුදා රෝහල, පනාගොඩ යුද හමුදා කඳවුර, ලේඩි රිජ්වේ ළමා රෝහල, හෝමාගම මුලික රෝහල, මුල්ලේරියාව මුලික රෝහල, IDH රෝහල, වැලිසර නාවික හමුදා කඳවුරේ දී මෙලෙස එන්නත් කරන වැඩසටහන අද දිනයේ දී ක්‍රියාත්මක වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙම එන්නත ලබාදීමෙන් පසු කිසිදු අතුරු ආබාධයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවූ බවත් හෙට දිනයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල ඉදිරි පෙලේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සාමාජිකයින් හට කොවිඩ් 19 එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කලේ වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකුට කොවිඩ් -19 එන්නත ලබාදීම සිදුනොකරන බවයි. වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සුවය ලැබීමෙන් සති 2-3කට පසුව එන්නත ලබාදීම සිදුකළ හැකි බවයි ඔහු සඳහන් කලේ.

එමෙන්ම වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සහ ගර්භනී කාන්තාවන්ට ද කොවිඩ් -19 එන්නත ලබාදීම සිදුනොකරන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා කියා සිටියේ. ඒ මෙම එන්නත් එවැනි වයස් සිමාවේ පසුවන දරුවන්ට හෝ ගර්භනී කාන්තාවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර නොමැති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර කියා සිටියේ.