වල දමා තිබු කාලතුවක්කු උණ්ඩ 146ක් යුද හමුදාව සොයා ගනියි (PHOTOS)

January 28, 2021 at 7:59 PM

මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ දී යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී වල දමා තිබු කාලතුවක්කු උණ්ඩ 146ක් කාට්‍රිජ 78ක් අද දිනයේදී සොයා ගැනීමට හැකිව තිබෙනවා. මෙම යුධ උපකරණ භාවිතයට ගැනීමට සුදුසු නොවන තත්ත්වයේ තිබෙන බවයි යුද හමුදාව සඳහන් කළේ.

අධිකරණයෙන් ලද නියෝගයක් මත මුල්ලියාවේලි පොලිසිය සමග එක්ව යුද හමුදාවේ 09 වන කේෂ්ත්‍ර ඉංජිනේරු බලකාය විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ අතර එහිදී මිලි මිටර් 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 110ක්, මිලි මිටර් 122 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 36ක්, මිලි මිටර් 152 වර්ගයේ කාලතුවක්කු කාට්‍රිජ 49ක්, මිලි මිටර් 122 කාලතුවක්කු කාට්‍රිජ 29ක් සහ විලායක 10ක් සොයා ගැනීමට හැකිව ඇත.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරනු ලබන බවයි යුද හමුදාව නිවේදනය කර සිටියේ.