අනිද්දා සිට කොළඹ මාර්ග කිහිපයක වාහන ධාවනය සීමා කෙරෙන අයුරු (VIDEO)

January 28, 2021 at 9:42 AM

පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත 73වන නිදහස් දින උළෙල සහ ඊට පෙර පැවැත්වෙන පෙරහුරු හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක වාහන ගමනා ගමනය සීමා කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

නිදහස් දින උත්සවයේ පෙරහුරු ජනවාරි 30 සහ 31ත් පෙබරවාරි 1,2,3 යන දිනයන් හිදී නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ.

පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4වනදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ඒ සම්බන්ධ විකල්ප මාර්ග පිළිබඳ පුවරු ද මාර්ගවල තබා ඇති බවත් අදාළ ස්ථානවල රැඳී සිටින පොලිස් නිලධාරීන් විසින් මහජනතාවට එය පෙන්වා දෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

බොරැල්ල දෙස සිට නෙළුම් පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන හෝර්ටන් පෙදෙස දෙසට පැමිණ විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කළ යුතු වේ. පිටවන වාහනද ඒ ඔස්සේ ගමන් කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

බෞද්ධාලෝක මාර්ගයේ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.