මානව හිමිකම් සංවිධාන කුමක් කීවත් කොවිඩ් මරණ ගැන තීරණ ගන්නේ වෛද්‍ය නිර්දේශ අනුවයි – ආණ්ඩුව කියයි

January 27, 2021 at 8:56 AM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කුමන වාර්තා නිකුත් කළත් කොරෝනා මරණ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන්නේ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව සම කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කොරෝනා මරණ ආදාහනය කිරීමෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ජාතිවාදී ස්වරූපයක් ඇති වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය සඳහන් කළත් එය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවද ඇමැතිවරයා සඳහන් කළේ.

රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලින් බැහැරව කටයුතු කිරීමට රජයට හෝ කැබිනට් මණ්ඩලයට සෞඛ්‍යමය දැනුමක් නොමැති බව කී ඇමැතිවරයා, එසේ කටයුතු කර වගකීම් භාර ගැනීමේ හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ මාර්ගගත ක‍්‍රමය ඔස්සේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ.

කොරෝනා මරණ පිළිබඳ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇති සෞඛ්‍යමය දැනුම පිළිබඳ මෙහිදී ගැටලූවක් මතුවන බවද ඇමැතිවරයා පැවසුවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සිව් පුද්ගල කමිටුවක් මගින් ශී‍්‍ර ලංකාව කොරෝනා මරණ පිළිබඳ කටයුතු කරන ආකාරයෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් කඩවී ජාතිවාදී ගැටලූ නිර්මාණය වන බව හා එය ජාතිවාදී ස්වරූපයක් ගන්නා බවට වාර්තාවක් නිකුත් කරමින් ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම කරුණු පැවසුවා.

කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර ගිය සියයට සියයක්ම මුස්ලිම් ජනතාව වෙසෙන චීනයේ එක් ප‍්‍රාන්තයක පවා කොරෝනා මරණ සම්බන්ධයෙන් වෙනත් කි‍්‍රයාමාර්ගයක් නොගත් අතර, එහිදී කිසිවකුත් කිසිදු චෝදනාවක් නොකළ බවද ඇමැතිවරයා කියා සිටියේ.

කොරෝනා මරණ භූමදානය හෝ ආදාහනය කිරීම යන ක‍්‍රම දෙකම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණද, එහි අවසන් තීරණය ගැනීමේ

වගකීම පවරා ඇත්තේ අදාළ රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරින්ට බව පෙන්වා දුන් ඇමැතිවරයා, එනිසා මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට පිටින් වැඩ කිරීමට රජය කිසිසේත්ම සූදානම් නැති බවද පැවසුවේ.