මේ වසරේදී ලංකාවට වාහන ආනයනය කරනවාද ? වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පිළිතුරු දෙයි

January 27, 2021 at 5:03 PM

මේ වසරේදී ද වාහන ආනයනය කිරීමක් සිදුනොකරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා. ඔහු සඳහන් කලේ රජය විසින් ආනයන සිමා කර තිබියදී පවා අමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යමින් පවතින බවයි.

එමෙන්ම මෙරට පවතින වාහනවල මිල ගණන් ද අධික ලෙස ඉහළ ගොස් ඇති බව පවසන වාහන ආනයනකරුවන් ගේ සභාපතිවරයා පාරිභෝගිකයින් හටද රටේ පවතින තත්ත්වය අනුව ඊට මුහුණ දීමට සිදුව ඇති බව කියා සිටියා.

“රජය විසින් ආනයනය සීමා කර තිබියදී ද අමෙරිකානු ඩොලරයේ අගය වැඩිවෙමින් පවතිනවා. එයට හේතුව ඩොලරයේ හිඟවීම නිසා ඇතිවන තත්ත්වයක්. අපි අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කියා සිටියා මේ වසරේදීත් වාහන ආනයනය කිරීම කොහෙත්ම සිදුකරන්න බැරිවේවි කියා.

රටේ පවතින තත්ත්වය එක්ක අපේ අවශ්‍යතාවයන්ට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා.පාරිභෝගිකයින්ටත් එහෙමෙයි. ආනයනකරුවන් හැටියට රජය විසින් මේ ව්‍යාපාර සිදුකරන අය ගැන යම්කිසි දුක බැලීමක් සිදුකරලා, බැංකු වලින් සහනයක් ලබාදීලා ව්‍යාපාරවල නියැලෙන සේවකයින් ආරක්ෂා කරලා දීලා, අපිට වැටෙන්න දෙන්නේ නැතුව වෙනත් ව්‍යාපාරවල නියැලෙන්න අවශ්‍ය සහයෝගය ලබාදීලා උදව් කරන්න ඕන.

මේ තත්ත්වය යටතේ පාරිභෝගිකයින්ටත් කියන්න තියෙන්නේ වාහනවල මිල ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් ජපානයේ අවුරුදු 5ක් විතර පාවිච්චි කරපු වාහනයක් ලක්ෂ 3-4කට මිලදී අරගෙන එය ලංකාවට ගෙන එද්දී තවත් ලක්ෂ 30ක විතර බද්දක් අයකරනවා. දැන් රජය ඒ බද්දත් නැති කරගෙන තියෙනවා” යැයි වාහන ආනයකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ ප්‍රකාශ කර සිටිනවා.