අසන්ත තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි : ක්‍රිකට් ගොඩනගන්න අර්ජුනටත් ඇමති නාමල් ආරාධනා කරයි

January 27, 2021 at 9:28 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර ධුරයෙන් ද ඉල්ලා අස්වුනා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තමන් මේ මොහොතේදී සුදානමක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

” 2014 වන විට අපි ලෝක ශුරයින්, 2015 වසරේ ආණ්ඩු පෙරළියත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමකට ලක්වුණා. එහිදී ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුණා කියලා කිව්වොත් නිවැරදි. නමුත් අපි කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාව යලි පෙර තිබු ලෝක ශුරයින් කියන මට්ටමටම රැගෙන එනවා. ඒක මාස 2-3ක් තුලදී කරන්න පුළුවන් දෙයක් නෙමේ. කාලයක් ගතවෙනවා.

අනිත් එක ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරලා අතුරු කමිටුවක් පත් කරන්න කියලා ගොඩක් අය කියනවා. එහෙම වෙනවා කියන්නේ ඇමතිවරයා කෙලින්ම එතට ඇගිලි ගහනවා කියන එක. මම එහෙම කරන්න කැමති නැහැ, හැබැයි අවශ්‍ය උනොත් අතුරු කමිටුවක් පත් නොකර ඉන්නෙත් නැහැ. ඒ වගේම මම අර්ජුන රණතුංග මහත්තමයාට ආරාධනා කරනවා ක්‍රිකට් ගොඩනැගීමේ සැලැස්මට එන්න එක්තුවෙන්න කියලා” ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

මාතරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.