අත්‍යාවශ්‍ය නොවන වියදම් සිදු නොකරන්න : මහ බැංකුවෙන් සියලුම බැංකු වෙත උපදෙස්

January 27, 2021 at 8:51 AM

බලපත‍්‍රලාභී බැංකු විසින් 2021 ජුනි 30 දින දක්වා කාලය තුළ සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවලට උපදෙස් ලබා දී ඇති බව දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා.

එසේම බැංකු විසින් ප‍්‍රාග්ධන වියදම් සිදු කිරීමේදී ඉතා විචක්ෂණශීලීව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවටද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේ සඳහන් කර සිටිනවා.

බලපත‍්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට පෙර, 2020 මැයි 13 වැනිදා නිකුත් කරන ලද විධානයක් මගින්, කොවිඞ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත‍්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප‍්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, බලපත‍්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ප‍්‍රකාශයට පත්කිරීම, ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකාරිත්වය සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරනු ලබන ගෙවීම් ඉහළ දැමීම ආදී අභිමතානුසාරී ගෙවීම් 2020 දෙසැම්බර් 31 දින දක්වා සීමා කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.

මෙම සීමා කිරීම් යළි සලකා බැලීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කළ අතර, ඒ අනුව, බලපත‍්‍රලාභී බැංකුවල 2020 වසර සඳහා වන මූල්‍ය ප‍්‍රකාශන විගණනයට ලක් කිරීමෙන් අනතුරුව, ලාභාංශ මුදලින් ගෙවීමට සහ ලාභ මෙරටින් බැහැර කිරීමට 2021 ජනවාරි 19 වැනි දින නිකුත් කරන ලද විධානය මගින් බලපත‍්‍රලාභී බැංකු වෙත අවසර ලබා දුනි. බලපත‍්‍රලාභී බැංකු විසින් මෙලෙස ලාභාංශ මුදලින් ගෙවීමේ දී සහ ලාභ මෙරටින් බැහැර කිරීමට තීරණය කිරීමේ දී, පවතින අභියෝගාත්මක වාතාවරණයන් හමුවේ බැංකුවල වත්කම්වල වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ කොවිඞ්-19 ව්‍යසනය නිසා වන බලපෑම වැනි දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

තවද, බලපත‍්‍රලාභී බැංකු විසින් 2021 ජුනි 30 දින දක්වා කාලය තුළ සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු අතර,

ප‍්‍රාග්ධන වියදම් සිදු කිරීමේ දී ඉතා විචක්ෂණශීලීව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය.

( මුලාශ්‍ර : ශ්‍යාම් නුවන් ගනේවත්ත දිවයින පුවත්පත)