මෙරට පරිශීලකයින්ට හෙට සිට ෆේස්බුක් ගෙන එන නවතම විශේෂාංගය

January 26, 2021 at 1:28 PM

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගය හිමිවූ නවතම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කළේ එම විශේෂාංගය හිමිවන ලොව 29 රට ශ්‍රී ලංකාව බවයි.

ෆේස්බුක් සමාගමේ මෙරට ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු යසස් විශුද්ධි අබේවික්‍රම මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නව විශේෂාංගය හෙට සිට ශ්‍රී ලංකා වැසියන්ට බලාත්මක බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලන සේවය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර රටපුරා විහිදී ඇති රුධිර බැංකු 24ක් මෙම නව විශේෂාංගය සමග එක් කොට ඇත.

වයස අවුරුදු 18-55 දක්වා වන පරිශීලකයින් හට හෙට සිට මෙම නව විශේෂාංගය සමග ලියාපදිංචිවීමට අවසරය ලැබෙන අතර රුධිර පරිත්‍යාගය කිරීම් සහ රුධිර අවශ්‍යතාවයන් සම්බන්ධ ඉල්ලීම් ඒ හරහා ලැබීමට නියමිතව ඇත.

යසස් විශුද්ධි අබේවික්‍රම කියා සිටියේ නව විශේෂාංගය හරහා ජනතාව තුල රුධිර පරිත්‍යාග කිරීමේ උනන්දුව වැඩි කිරිමට ඉවහල් වෙන බවයි.

මෙම විශේෂාංගය සමග ලියාපදිංචි වන පුද්ගලයින්ට රුධිර අවශ්‍යතා පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් ලැබෙනු ඇති අතර රුධිර මධ්‍යස්ථාන සහ රෝහල් විසින් රුධිරය පරිත්‍යාග කිරීමට ඇති සුදුසුකම් තීරණය කරනු ඇත.