මුව ආවරණ තුල සඟවා ගෙන හෙරොයින් ජාවාරමක්

January 26, 2021 at 9:14 AM

මුව ආවරණ තුල සඟවා ගෙන හෙරොයින් අලෙවි කරනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අට්ටාලච්චේන සහ අක්කරපත්තුව පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත උපාය දුතයකු යොදවා මෙම වැටලීම සිදුකළ අතර අට්ටාලච්චේන පදිංචිකරුගේ මුව ආවරණය තුළ හෙරොයින් මිලිග‍්‍රෑම් 1270 ක් තිබී ඇත.

අක්කරපත්තුව සැකකරුගේ මුව ආවරණයේ රහසිගත සාක්කු තුළ හෙරොයින් මිලිග‍්‍රෑම් 1055 ක් තිබී ඇත. අට්ටාලච්චේන සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙතෙම අක්කරපත්තවු ප‍්‍රදේශයේ ගෙවල් බිඳුම් රැසක් සිදුකර ගෘහභාණ්ඩ හා විදුලි උපකරණ රැසක් සොරකම් කර තිබෙන බවත්, ඒවායෙන් කුඩු පානය කර තිබෙන බවත් අනාවරණයව තිබේ.

මෙම පුද්ගලයා අධිකරණ නියෝග මත රඳවාගෙන වැඩිදුරටත් ප‍්‍රශ්න කරමින් සිටී. එමෙන්ම මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නියුතුව සිටි දෙදෙනකු බවද පොලිසිය කියයි.