දැන්වත් ජනතාවට ඇත්ත කියන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

January 25, 2021 at 8:59 AM

දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ ප‍්‍රකාශ කර සිටිනවා.

එක දිගට දින තුනක්ම දිස්ති‍්‍රක්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තාවී ඇති බවත්, එමගින් කොරෝනා අවදානම වැඩිවීමක් දක්නට තිබෙන නිසා ජනතාවට හරි අවදානම තේරුම් ගැනීමට සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් රටට සත්‍යය ප‍්‍රකාශ කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

මේ වන විට වෛද්‍යවරුන් 50 ක් පමණ කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවත්, තවත් වෛද්‍යවරුන් 200 ක් පමණ නිරෝධායනය වෙමින් සිටින බව ද ඔහු පැවසුවා. දෙවැනි කොරෝනා ව්‍යාප්තිය සමග වෛද්‍යවරුන් 100 කට පමණ කොරෝනා වැළඳුනු බව කී අලූත්ගේ මහතා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ බැලීමේදී සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් සිටින බවයි කියා සිටියේ.

පවතින තත්ත්වය ගැන සත්‍ය ප‍්‍රකාශ නොකරන්නේ නම් පෙබරවාරි මැද පමණ වන විට කොරෝනා රෝගීන් වාර්තාවීමද වැඩිවිය හැකි බවද ඔහු අවධාරණය කර සිටියා.

එංගලන්ත අගමැතිවරයා පවා නව කොරෝනා ප‍්‍රභේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සත්‍ය ප‍්‍රකාශ කර තිබෙනව බව පෙන්වා දුන් වෛද්‍ය හරිත අලුත්ගේ පවතින තත්ත්වයෙන් යම් අඩුවීමක් ඇතිකර ගැනීමට කොරෝනා එන්නත මගින් අපේක්‍ෂා කළත් රෝගීන් හඳුනාගැනීම සඳහා දැනට සිදුකරන දෛනික පී.සී.ආර්. ප‍්‍රමාණය 15,000 සිට 20,000 දක්වා වැඩිකර ගැනීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතු බව ද පෙන්වා දෙනවා.

( දිවයින පුවත්පත)