සෞඛ්‍ය ඇමැතිනියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට “BBC සිංහල පුවත් සේවය වාර්තා කරයි”

January 23, 2021 at 12:27 AM

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යවරියට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණය මගින් අනාවරණය වී ඇති අතර ඇය අද දිනයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර ඇත.

එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිදු නිවේදනය නිකුත් කර නොමැති බවයි BBC සිංහල පුවත් සේවය වාර්තා කර සිටියේ.

මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

PCR පරීක්ෂණයෙන් ද තහවුරු වුවහොත්, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදිත පැණිය ප්‍රසිද්ධියේ පානය මන්ත්‍රීවරුන් අතරින් කෝවිඩ්19 රෝගය වැළඳුණ දෙවන අමාත්‍යවරයායි.

ඇමැතිනියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විමසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවූ බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ඒ පිළිබඳව තමන් දැනුවත් නොමැති බවට ප්‍රකාශ කර ඇති බවයි BBC සිංහල පුවත් සේවය වාර්තා කර සිටින්නේ.