මට්ටක්කුලිය දේවස්ථානයක පියතුමන්ලා 09 කට කොවිඩ් : කොළඹ නගරයේ යාචකයින්ටත් කොරෝනා

January 23, 2021 at 9:19 AM

මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි සඳහන් කළේ එම දේවස්ථානය ආශ්‍රිතව තවත් පියතුමන්ලා 50ක් පමණ සිටින බවයි.

“මුඛ ආවරණ නොමැතිව සැරිසරමින් සිටි පුද්ගලයින් 30ක් අරගෙන කරපු පරීක්ෂණවලදී යාචකයින් 4ක් ආසාදිතයින් බවට හඳුනාගත්තා. ඊට අමතරව තවත් 2 දෙනෙකු ද හඳුනා ගත්තා. උසාවි සංකීර්ණයේ සිදුකළ PCR 302ක් තුළින් මේ වනවිට රෝගීන් 5 දෙනෙක් සොයා ගන්නට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව පියතුමන්ලා 9 දෙනෙකු ආසාදිත බවට හඳුනා ගත්තා. එහි තවත් සහෝදර පියතුමන්ලා 50ක් පමණ ඉගෙනුම ලබනවා. ඔවුන්ගෙත් PCR පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතිනවා. මේ තත්ත්වය නිසා පිරිස ගැවසෙන ස්ථානවලට යෑමේදී ජනතාව තවදුරටත් ප්‍රවේසම් වීම අනිවාර්යයි” ඔහු සඳහන් කර සිටියා.

මේ අතර වෙන්නප්පුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකයින් 39 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.කේ.එම්. සුසන්ත කුමාරසිංහ සඳහන් කර සිටිනවා.

හඳුනාගත් ආසාදිතයින් ඊයේ (21) රාත්‍රියේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.