දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි : පෙබරවාරි මාසයේ මැද භාගය වන විට රටේ තත්ත්වය භයානක වනු ඇතැයි GMOA අනතුරු අඟවයි

January 23, 2021 at 4:57 PM

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 787 දෙනෙකු වාර්තා වූ අතර ඉන් තිදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 19,285ක් සිදුකර ඇති අතර, එය දිනකදී මෙරටදී සිදුකළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව මෙය වනවා.

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 139 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රදේශයෙන් ආසාදිතයින් 36ක්, පුගොඩ ප්‍රදේශයෙන් 24ක්, කඩවත 14ක් සහ දිවුලපිටිය ප්‍රදේශයෙන් 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 108ක් වන අතර අංකුඹුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 48ක් සොයා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 101ක් වන අතර නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 36ක්, අතුරුගිරිය ප්‍රදේශයෙන් 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව කළුතර 66ක්, කුරුණෑගල 65ක්, ගාල්ල 61ක්, මාතලේ 45ක්, රත්නපුර 39ක්, මාතර 23ක්, අම්පාර 18ක්, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 14 දෙනා බැගින් වාර්තා වී ඇත.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ මේ වන විට දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුලින්ම රෝගීන් දෛනිකව හමුවෙන තැනට ගමන් කර ඇති බවයි.

” අද බස්නාහිරෙන් හමුවන රෝගින් සංඛ්‍යාව 50%කට විතර අඩු වෙලා තියෙනවා. නමුත් අනිත් පළාත් වලින් 15%ක් විතර වාර්තා වුණේ මීට මාසෙකට විතර පෙර දෛනික රෝගින් ප්‍රමාණය. ඒක 50% දක්වා වැඩි වෙලා තියෙනවා. අපි අසාර්ථක වෙලා තියෙනවා යම් මට්ටමකින් රටක් විදියට බස්නාහිර කේන්ද්‍රගතවෙලා තියෙන අවදානම එතන කළමනාකරණය කරලා සමස්ථ රට පුරා ව්‍යාප්තවන එක වලක්වන්න. ඒ නිසා ඊයේ රට පුරා රෝගීන් 800ක් වාර්තා වුණා නම් අපිට පෙන්නේ ඒ රෝගීන් 800 නමුත් මහජන සෞඛ්‍ය පද්ධතියට 800ක් නෙමේ. මොකද මේ 800ය ආශ්‍රිතව, ආශ්‍රිතයින් බිහි වෙනවා. ප්‍රශ්ණ තිබුණා වුනත් මේ මොහොතෙදී අපේ රටේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ, හැකි අසනනතම මොහොතෙදී හැකි ඉක්මනින් එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගන්න කියන කාරණය.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරකවරයා කියා සිටියා.