ජනාධිපති රේගුවට අවසන් නිවේදනය නිකුත් කරයි : සියලු දෙනා ඉවත් කොට හෝ දුෂණයෙන් තොර තැනක් බවට පත්කරන බව කියයි (VIDEO)

January 23, 2021 at 8:53 PM

ශ්‍රී ලංකා රේගුවේ සිටින සියලුම නිලධාරීන් ඉවත් කොට හෝ එම දෙපාර්තමේන්තුව වංචා දුෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. වත්මන් රජය ගන්නා සෑම තීන්දුවකම වගකීම තමන් භාරගන්නා බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.

“මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“ගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදීම සාගල රත්නායක ඇමතිතුමා ඒ රටේ නියෝජිතයින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙන්නේ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දීය අගමැතිතුමා මේ ගැන කතා කළා. කිව්වා, මේක ගැන අපේ අවධානයක් තියෙනවා. ඒගොල්ලංගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඒ අත්සන් කරලා තිබුණු විදිහටම කරන්න බෑ කියලයි. රටේ නායකයා හැටියට මම හැම වගකීමක්ම භාර ගන්නවා. මම දන්නේ නෑ කියලා කියන්න මම සූදානම් නෑ. මොනවා හරි දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම භාර ගන්නවා. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න වැඩ කරපු ස්වාමීන්වහන්සේලත් මේකට විරුද්ධව කතා කරනවා. ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න.”