මැතිව්ස් ගාල්ලේ දී පළමු ටෙස්ට් ශතකය වාර්තා කරයි

January 22, 2021 at 5:40 PM

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 229ක් ලබා ගෙන සිටියා. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ වගකීම දරමින් පන්දු 228 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 107ක් රැස් කර ගනිමින් කඩුල්ලේ රැඳී සිටියා.

මෙය මැතිව්ස් ගේ 11 වන ටෙස්ට් ශතකය වන අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඔහු රැස්‌ කළ පළමු ටෙස්ට් ශතකය ද වනවා.

ලකුණු 07ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දෙකක් දැවී යාමෙන් පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ලහිරු තිරිමාන්න සමග එක්වෙමින් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරනු ලැබුවා.

ලහිරු තිරිමාන්න ලකුණු 43ක් ලබා ගනිමින් සිටියදී ජිමි ඇන්ඩර්සන් ගේ පන්දුවකට ජෝස් බට්ලර් ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

තිරිමාන්න ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් මැතිව්ස් සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාව පසුකරලිම සඳහා සිය දායකත්වය ලබා දුන් අතර පන්දු 121 කදී ලකුණු 52ක් ලබා ගනිමින් සිටි චන්දිමාල් මාර්ක් වුඩ් ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියා.

දිනය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 107ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 19ක් රැස් කරමින් කඩුල්ලේ නොදැවී සිටියා.