දෙවන ටෙස්ට් තරගයට කුසල් සහ දිමුත් ක්‍රීඩා කරනවාද ? ශ්‍රී ලංකා පුහුණුකරු පිළිතුරු දෙයි (VIDEO)

January 18, 2021 at 9:26 PM

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න සහ දිගින් දිගටම ආසාර්ථක භාවයක් පෙන්නුම් කරන කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරාවිද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ගෙන් අද මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කියා සිටියේ කුසල් මෙන්ඩිස් සාර්ථක පිතිකරුවෙක් ලෙසට ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස් කරනු ඇති බවයි. ජාත්‍යන්තර පිතිකරුවෙකු ලෙස ඔහු මේවන විට අසාර්ථක භාවයක් පෙන්නුම් කරමින් සිටින නිසා දැඩි පීඩනයකට ලක්ව ඇති බවද කියා සිටියා. එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔහු ක්‍රීඩා කළ යුතුද යන්න ගැන සාකච්ජා කළ බවත් තම රටේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ඔහුගේ පිතිකරණ විශ්වාසනීයත්වය යලි නගා සිටුවීමට හැකි වෙතැයි යන විශ්වාසය මත ක්‍රීඩා කළ බවයි මෙහිදී මිකී ආතර් කියා සිටියේ.

කෙසේ වෙතත් දෙවන ටෙස්ට් තරගයට කුසල් ක්‍රීඩා කරන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුලදී සාකච්ජා කොට තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කියා සිටියේ.

මේ අතර අස්ථි බිඳීමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ හැකියාවක් මේ වන විට පෙන්නුම් නොකරන බවත් ඔහුගේ සුවය ලැබීමේ තත්ත්වය ගැන ඉදිරි දින දෙක තුලදී සලකා බලා ඒ සම්බන්ධයෙන් තීරණය කරන බවයි ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු කියා සිටියේ.