අතිරේක ක්‍රීඩකයින් කාඩ් ක්‍රීඩා කිරීම, කුසල් ජනිත් ගේ රිවස් ස්වීප් පහර ගැන සනත් ගෙන් දැඩි දෝෂාරෝපණයක් : කුසල් මෙන්ඩිස් විවේක ගැන්විය යුතු බව කියයි

January 17, 2021 at 10:54 AM

“තරඟයේ තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අතිරේක ක්‍රීඩකයින් ක්‍රීඩා විවේකාගාරයට වී කාඩ් ක්‍රීඩාවේ නිරත වීම දැකීමෙන් තමන් අතිශයින් කලකිරීමට පත්වු බව” හිටපු නායක සනත් ජයසුරිය ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටිය ක්‍රීඩකයින් අතර සුරංග ලක්මාල් ද සිටින බවයි රුපවාහිනි දසුන් මගින් දැකගන්නට හැකිවුයේ.

” මෙය එලෙස සිදුනොවිය යුතුයි. ක්‍රීඩාගාරය තුල ධනාත්මක ශක්තියක් තිබීම අනිවාර්යයි. එය මෙවන් වැදගත් අවස්ථාවක ක්‍රීඩකයින් ශක්තිමත් වී සිටීම වැදගත්. මෙය හරියට රෝමය ගිනි ගනිද්දී නීරෝ විණාව වාදනය කළා හා සමානයි” ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වමත් පිතිකරු සනත් ජයසුරිය කියා සිටියේ.

මෙම කණ්ඩායම පීඩනයට ලක්ව සිටින බවක් පෙනී යනවා. ඔවුන් ඔවුන්ගේ ස්වාභාවික ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැ. ඔවුන් කලබල වී ඔවුන්ගේ කඩුලු පුජාකරන බවයි පෙනී යන්නේ.

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කුසල් ජනිත් පෙරේරා දැවී ගිය රිවර්ස් ස්වීප් පහර සම්බන්ධයෙන් ද සනත් ජයසුරිය අදහස් පළකරමින් කියා සිටියේ එය එවැනි අවස්තාවක එල්ල කිරීමට සුදුසු පහරක් නොවන බවයි.

මට කුසල් මෙන්ඩිස් ගැන දැනෙනවා. මම හිතන්නේ ඔහුට විවේකයක් අවශ්‍යයි. ඔහු අනාගතයේ දී විශාල බලපෑමක් ඇති කරනු ඇති බවට සැකයක් නැහැ. නමුත් මේ වන විට ඔහුගේ විශ්වාසනීය මට්ටම පහත වැටී තිබෙන්නේ. ඒ නිසා ඔහුට ක්‍රීඩාවෙන් විවේකයක් අත්‍යාවශ්‍යයි, සනත් ජයසුරිය ප්‍රකාශ කර සිටියා.