අඩු පොලියට නිවාස ණය ඇතුළු අද සිට ක්‍රියාත්මක වන සහන මෙන්න

January 1, 2021 at 11:11 AM

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට නිවාස මිලදී ගැනීම සඳහා 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25%ක් සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය අද දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.

මුදල් අමාත්‍යංශ පවසන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම්කර ඇති නිවාස යෝජනා ක්‍රමයන්හි නිවාස මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව උදාවන අතර විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වී කොළඹ ඇතුළු ප්‍රදේශවල සේවයේ නියුතු තරුණ පිරිස්වලට මෙම ණය යෝජනා ක්‍රමයේදී ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.

නිකුත් කෙරෙන උපරිම ණය මුදල ලක්ෂ සියයකි. ආපසු ගෙවීමේ කාලය වසර විසිපහක් දක්වා වේ. ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මිට අමතරව රාජ්‍ය සේවකයින්ගේ විදුලිබිල අඩු කිරීමේ සැලසුම් සහිතව ක්‍රියාත්මක සුර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අඩු පොලී ණය ලබාදීමේ ණය යෝජනා ක්‍රමය ද අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ 2021 අයවැය යෝජනාවලියේ ඉහත සඳහන් සහන අනතර්ගතව තිබුණා.