කොවිඩ් ආසාදිතව මියැදෙන සියලු දෙනාගේ දේහයන් ආදාහනය කරන්න – භික්ෂු සංවිධාන ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක (VIDEO)

December 28, 2020 at 2:32 PM

කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්වන සියලුදෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන අද (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

එහිදී ඔවුන් ඊට අදාළව තොරතුරු ඇතුළත් සංදේශයක්, ඒ මොහොතේ වෙනත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාරදීමටයි කටයුතු කරනු ලැබුවා.

මෙම විරෝධතාව සඳහා ජාතික සංවිධාන සම්මේලනය, සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව, සිංහලේ අපි, සිංහලේ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, විරෝධතාව අතරතුර, විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේ සහ ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි නිලධාරින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

පසුව, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි එම ස්ථානයට පැමිණි අතර, එහිදී විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේ අමාත්‍යවරිය වෙත සංදේශයක් භාර දෙනු ලැබුවා.

මේ අතර, කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමට යම් කොන්දේසිවලට යටත්ව ඉඩදිය යුතු බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ, සාමග්‍රිී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ලිඛිතව පෙන්වා දී තිබෙනවා.