ඩෙංගු රක්තපාත උණ ආසාදනය විය හැකි රෝගීන් කලින් සොයා ගැනීමේ ක්‍රමවේදයක් මෙරට වෛද්‍ය විශේෂඥයින් සොයා ගැනේ

December 23, 2020 at 5:02 PM

ඩෙංගු උණ වැළදී රක්තපාත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර ඩෙංගු රක්තපාත උණට ගොදුරුවිය හැකි රෝගීන් හඳුනා ගත හැකි ජෛව සලකුණු කාරකයක් කැලණිය විශ්ව විද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබෙනවා.

කැළණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පිඨයට අයත් රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිමන්ති ජයතිලක, ජේෂ්ඨ මහාචාර්ය කපිල සෙනවිරත්න, හර්ෂා හපුගස්වත්ත, වෛද්‍ය පිඨයේ විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය රංජන් ප්‍රේමරත්න සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුබුදු අමරසේන විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

ඩෙංගු උණ වැළදුණු පුද්ගලයින්ගෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් දරුණු ඩෙංගු රක්තපාත උණ රෝගයට ගොදුරු වනවා.

රෝගය වැළදුණු මුල් කාලයේදී ඩෙංගු උණ රෝගීන් සහ ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇති විය හැකි රෝගීන් වෙන්කර හඳුනා ගත නොහැකිය. මේ හේතුවෙන් සියලු ඩෙංගු රෝගීන් රෝහල් ගත කොට ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කළ යුතුය. මේ හේතුවෙන් ඩෙංගු රෝගය වැඩියෙන් වාර්තා වන කාලයන් හිදී රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ තර්ජණයක් පවතී.

නමුත් මෙම නවක ජෛව සලකුණු කාරකය භාවිතා කර ඩෙංගු රක්තපාත ලක්ෂණ පෙන්නුම් කිරිමට පෙර එම රෝග තත්ත්වය ඇති විය හැකි රෝගීන් හඳුනාගෙන රෝහල් ගත කොට නිසි ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි බවයි මහාචාර්ය නිමන්ති ජයතිලක ප්‍රකාශ කර සිටිනවා.

මෙම පර්යේෂණයෙන් හෙළි වූ විද්‍යාත්මක සොයා ගැනීම ” Journal of Biomedical Science” අන්තර්ජාතික සඟරාව මගින් ඉකුත් ජනවාරි මස 08 වෙනිදා ප්‍රකාශයට පත් කර ඇත.\