සියලුම සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කරන්න : නව පාසැල් වාරය ජනවාරි 11 වෙනිදා ඇරඹේ

December 23, 2020 at 5:43 PM

නව පාසල් වාරය ලබන ජනවාරි මස 11 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව සියලු පාසල්වල සෑම ශ්‍රේණියකම සිසුන්ට එදිනට පාසල් ඇරඹෙන බවයි එම නිවේදනයෙන් සඳහන් වන්නේ.

කෙසේ වුවත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටියි.

2020 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අද දින අවසන් වුවා.

මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත්, ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

සිසුන්ගේ පෙළ පොත් මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබාදිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.

යම් පාසලක 2020 වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම්, 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා මෙන් ද පළාත් බලධාරීන් හා විදුහල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.