පාසැල් ළමුන්ගේ ඔන්ලයින් පන්තියට අසභ්‍ය වීඩියෝ දර්ශණ එවයි

December 23, 2020 at 7:03 AM

බළන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ ජාතික පාසලක දරුවන් මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපනය ලබන අවස්ථාවේදී දරුවන්ගේ ජංගම දුරකථන වෙත වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන එවා ඇති බව පවසා එම පාසලේ පන්ති භාර ගුරුතුමිය පෙරේදා බළන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

එම ජාතික පාසලේ අදාළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් 50 දෙනකු එකතු කර වට්ස්ඇප් මගින් කණ්ඩායමක් සකස් කර දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන බවත්, එලෙස උගන්වන අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් එම අසභ්‍ය වීඩියෝ දර්ශන සහ අසභ්‍ය ඡායාරූප එවා ඇති බවට සැක කෙරේ.

දරුවන් පනස් දෙනාගේ සහ ගුරුවරුන්ගේ ජංගම දුරකථනවලට එම දර්ශනය එකම වෙලාවේදී පැමිණ ඇති බවත්, එම පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දුරකථන විශ්ලේෂණය ලබාගෙන එම අපරාධය සිදුකළ අය හඳුනාගෙන නීතිමය කටයුතු සිදු කිරීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.