ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට සුත්‍ර කමිටුවේ අනුමැතිය හිමිවෙයි

December 22, 2020 at 11:28 AM

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටිනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඖෂධය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බවයි. එනිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වු අමාත්‍ වෛද්‍යය රමේෂ් පතිරණ ,

“මේ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුළු පිරිස කටයුතු කරනවා. ඒ යටතේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තියෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ආචාර්යධර්ම කමිටුවකින් මේක අනුමත කිරීමට අවශ්‍යයි. එම ආචාර්ය ධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට ඉදිරිපත් කරනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර්යධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මෙය විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි බලාපොරොත්තු වුණ විදියට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙය භාවිත කරනවා නම් එයට සාක්ෂි මත පදනම්ව මෙය ඖෂධය භාවිත කිරීමෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එය සිදුකිරීමට තමයි සුදානම් වන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මුලික අනුමැතිය ලබාගැනීම සිදුවෙනවා.

එම පරීක්ෂණයෙන් පසුව අපිට නිශ්චිතව එය බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට සමත් ද කියන එක අපිට හෙළි කළ හැකියි. එතකල් අපිට ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවෙනවා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා. එයට විරුද්ධ වීමට අපට හැකියාවක් නෑ. “

කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳව අනුමැතිය ලබාදීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ රැස්වූ අතර එහිදී ඊට අනුමැතිය ලබාදීම සිදුකර ඇත.