සිව්දෙනෙකුට කොරෝනා වැළදුණු නිවසේ මියගිය කාන්තාවක ගේ සිරුරක් භූමදානය කිරීම ගැන පොලිසියෙන් විමර්ෂණ

December 22, 2020 at 7:18 AM

පවුලේ සාමාජිකයින් සිවුදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග නිරෝධායනයට ලක්කර තිබු බේරුවල, චීනකොටුව ප්‍රදේශයේ පිහිටි නිවසක මියගිය 78 හැවිරිදි කාන්තාවක් හොර රහසේම වළ දමා තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මෙම නිවසේ හිමිකරු පසුගිය 11 වෙනිදා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණ නිවසේ උත්සවයක් ඇති බව පවසා ඒ සඳහා අවසරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

මෙම නිවසේ උණ රෝගීන් සිටින බවට කිසිවෙකු විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ මේ අතර වාරයේදීය.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම නිවසේ සිටි පුද්ගලයින් 15 දෙනෙකු PCR පරීක්ෂණ සිදුකර තිබෙන අතර ඉන් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

ඒ අනුව එම නිවසේ පිරිස නිරෝධායනයට ලක්කර තිබු බවත් ඒ අතර කාලය තුළ දිනක සවස 4ට මියගිය කාන්තාව රාත්‍රී 8 වන විට හොර රහසේම වළ දමා තිබු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්කරගොඩ ග්‍රාම නිලධාරිවරයාද බේරුවල පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇත.

මෙම නිවසේ පුද්ගලයින් නිරෝධායනය කර තිබීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට අදාළ නිවසට යෑමට පොලිසියට සහ සෞඛ්‍ය සේවකයින්ට බාධාවක් එල්ලවී ඇත.