ෆේස්බුක් ඔස්සේ නීතිඥවරියක් රවටා කෝටි 03ක මුදලක් වංචා කළ නයිජිරියානුවන් ප්‍රමුඛ කල්ලියක් CID අත්අඩංගුවට

December 22, 2020 at 7:38 AM

ෆේස්බුක් ඔස්සේ හඳුනා ගත් කොළඹ ප‍්‍රදේශයේ පදිංචි නීතිඥවරියක රවටා රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ බව කියන නයිජීරියානු ජාතිකයන් සිවුදෙනකු ඇතුළු පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.

එංගලන්තයේ පදිංචි ශල්‍ය වෛද්‍යවරයකු ලෙස රංගනයක යෙදෙමින් මෙම නයිජිරියානු ජාතිකයන්, නීතිඥවරිය රවටා ඇයගෙන් මෙම මුදල වංචනික ලෙස ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම සංවිධානාත්මක නයිජිරියානු ජාතිකයන් කණ්ඩායම ගල්කිස්ස, දෙහිවල, මොරටුව ප‍්‍රදේශවල නිවෙස්වල ලැඟුම් ගෙන සිටිමින් මෙම වංචාවන් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සංවිධානාත්මක කණ්ඩායම මීට පෙර ද මේ ආකාරයටම මෙරට ධනවත් කාන්තාවන් ඇතුළු විවිධ පුද්ගලයන් රවටා කෝටි ගණනින් මුදල් උපයා ඇති බව ද හෙළි වී ඇත.

වංචනික ලෙස මුදල් උපයන මෙම නයිජිරියානු ජාතික කණ්ඩායම රටින් පිටුවහල් කිරීමට මේ වනතුරුත් කිසිම පියවරක් ගෙන නොමැති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොවුන් නීතිඥවරියගෙන් වංචා කර ලබා ගත් මුදල්වලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් සොයා ගෙන ඇති අතර රුපියල් ලක්ෂ 85 ක මුදලක් ඇති බැංකු ගිණුමක ගනුදෙනු නතර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මීට ටික කලකට පෙර මෙම නීතිඥවරිය ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින මෙම සංවිධානාත්මක කණ්ඩායමේ නයිජිරියානු ජාතිකයකු හඳුනාගෙන ඇත.

කාලයක් තිස්සේ මොවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන ඇති අතර ඔවුන් අතර සමීප සම්බන්ධතාවක් ද ගොඩනැඟී තිබේ.

ඒ අතරතුර වෛද්‍යවරයා ලෙස පෙනී සිටි නයිජිරියානු ජාතිකයා තමන්ට ඇෆ්ගනිස්ථානයේ රෝහලක රැකියාවකට යෑමට ඇති බව පවසා ඇත.

ඇෆ්ගිනිස්ථානයේදී තම ක්‍රෙඩිට් කාඞ්පත අස්ථානගත වූ බව කියමින් මොහු නීතිඥවරියගෙන් රුපියල් කෝටි 03 ක මුදලක් ණයට ඉල්ලා ඇත.

වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා පිළිබඳව විශ්වාස කර ඇති නීතිඥවරිය ඔහුට අදාළ රුපියල් කෝටි තුනක මුදල ලබාදී ඇත්තේ ඔහු ලබාදුන් බැංකු ගිණුමකට එම මුදල් බැර කරමින්ය.

මුදල් ලබා දීමෙන් පසු වෛද්‍යවරයා අතුරුදන්ව ඇති අතර පසුව නීතිඥවරිය මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

සැකකාර නයිජිරියානු ජාතිකයන් කණ්ඩායම අධිකරණය වෙත ඊයේ (21) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

(දිවයින පුවත්පත)