හෙට අළුයම සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් යානාවලට ලංකාවෙන් තහනමක්

December 22, 2020 at 2:22 PM

එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළඹ තිබෙනවා.

එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට නියමිත මගීන් PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටලවල නතර කොට දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කෙරේ. ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුය.

ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩල ද නිරෝධායන ක්‍රියාවලියට යටත් වේ.

ඒ අනුව හෙට දින අළුයම 2.00 සිට මෙම තහනම ක්‍රියාත්මක කරන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.