කොවිඩ් ආසානය වී මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහයන් ආදාහනය කිරීමට එරෙහිව විපක්ෂ නායක හඬ නගයි

December 21, 2020 at 4:56 PM

කොවිඩ් රෝගය වැළඳී මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහයන් ආදාහනය කිරීමේ රජයේ තීරණය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගුරුතලාව ප්‍රදේශයේදී ඉස්ලාම් බැතිමතුන් පිරිසක් අමතමින් ඔහු සඳහන් කලේ රජයේ මෙම තීරණයට එරෙහිව සමගි ජනබල වේගය ලබන බදාදා පෙරවරු 10.30 ට නිහඩ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

” කොවිඩ් වසංගතය සමග ඉස්ලාම් බැතිමතුන්ට තමන්ගේ සුපුරුදු ආගමික වත්පිළිවෙත් සිදුකිරීමට බාධා එල්ලවී තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් ආසාදනය වී මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහයන් භූමදානය කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. රජය කියන්නේ එම දේහයන් ආදාහනය කරන්න ඕන කියලා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ මාර්ගෝපදේශ වල සඳහන් කර තිබෙනවා කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින් ආදාහනය කිරීම හා භූමදානය කිරීම සිදුකළ හැකි කියලා. රජය සැමවිටම කියනවා කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් තමන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී තිබෙන මාර්ගෝපදේශ අනුගමනය කරනවා කියලා. ඉස්ලාම් බැතිමතුන් මුහුණදී තිබෙන මෙම තත්ත්වය ගැන විතරක් රජය විශේෂඥ කමිටුවක ගේ නිර්දේශ දෙස බලාගෙන සිටිනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුරුන් හෝ වේවා ඔවුන් නිතිය හමුවට ගෙනල්ලා අනිවාර්යෙන් මරණ දඬුවම දෙන්න ඕන. මන්ද ත්‍රස්තවාදයට උදව් කරන අයට ඉඩක් ලබා දෙන්න බැහැ” යැයි මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.