රත්මලානේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් 24 කට කොරෝනා

December 21, 2020 at 7:36 AM

රත්මලාන ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන සේවකයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

එම කර්මාන්ත ශාලාවේ එක් ගබඩා අංශයක සේවකයන් 24 දෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත.

ඊයේ (19) දින එම ආයතනයේ ගබඩා අංශයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත අද (20) දින සේවකයන් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයට (Rapid Antigen Test) ලක් කළ අතර එහිදී 23 දෙනෙකු ආසාදිතයින් බව අනාවරණය වී තිබේ.

එම ගබඩා අංශයේ සේවකයන් 57 දෙනෙකු සේවයේ නිරත වන අතර අනෙක් සේවකයන් මේ වන විට එම ස්ථානය තුළ ම නිරෝධායනයට යොමු කර ඇත.

සේවකයන් බහුතරය බෝඩිම් කාමරවල නතර වී සිටින්නන් වන බැවින් සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස ඔවුන්ව ගබඩා අංශය තුළ ම නිරෝධායනයට ලක් කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.