භූමදානය ගැන තීන්දුවක් ලැබෙන තෙක් මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ ශීතාගාර කන්ටේනර් වල තැන්පත් කෙරේ

December 21, 2020 at 8:05 PM

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භුමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරූ සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගන්නා ලෙසසෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිත මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත එම ලිපිය යොමුකර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී සිදුකළ ඉල්ලීමකට අනුව කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මෙම ලිපිය යොමු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.

ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ලිපියෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අද දිනය වන විට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් සපයා තිබූ අතර ඒවායේ මළ සිරුරු තැන්පත් කිරීම සිදුවන ආකාරය දැක ගැනීමට හැකිවූ බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය ගාල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ සිරුරුක් ද මෙම මරණ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලැබෙන තෙක් ශිතාගාරයේ තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය අද දිනයේ දී පොලිසියට නියෝග කරනු ලැබුවා.