ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොවිඩ් – නිරෝධායනය කර සිටියදී රැස්වීම් රැසකට සහභාගී වෙලා

December 21, 2020 at 1:29 PM

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. ඊයේ දිනයේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්ථා අනුව ඒ බව තහවුරු වු බව තලවාකැලේ – ලිඳුල සෞඛ්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන පැවසුවේ.

ආසාදිත සභාපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව අදාළ සභාපතිවරයා, රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇතැයි ද වාර්තා වී ඇත.

කෙසේවෙතත් එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, නෝර්වුඩ්, මස්කෙළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු හා නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවට ද තොරතුරු අනාවරණය වු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ.

මේ අතර අමාත්‍ය සි.බි. රත්නායක සහභාගිවූ රැස්වීමකට ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එක්වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළ බවයි තලවාකැලේ – ලිදුල සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියේ.

මේ අතර, නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ සභාපතිවරයාට එරෙහිව නුවරඑළිය මහෙස්‍ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කලේ.