පෙර අවසරයකින් තොරව විදෙස්ගත ලාංකිකයින්ට මව්රටට පැමිණීමට අවසර : දිනකට උපරිම සංඛ්‍යාව 3500ක්

December 20, 2020 at 10:46 AM

මෙරටට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙම මස 26 වෙනිදා සිට මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපාලි ධර්මදාස පවසනවා.

කෙසේ වුවත් මේ ආකාරයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අනිවාර්යයෙන් PCR පරීක්ෂණ සදහා යොමු කළ යුතු බැවින් මෙරට ගුවන් තොටුපළ තුළ දී සිදු කිරීමේ ධාරිතාවය 3,500 ක් වීම හේතුවෙන් දෛනිකව ගුවන් තොටුපොළට පැමිණීමට හැකි මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ අතර ගුවන් තොටුපළවල් නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා රුසියානු සංචාරක කණ්ඩායමකට තම අවසරය ලබා දී ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම රුසියානු සංචාරක පිරිස 200 කට අධික පිරිසකගෙන් සමන්විත වන අතර ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත ලබන 26 වෙනිදා පැමිණීමට නියමිත බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සහ එම සංචාරක නියෝජිතයන්ට ද සිදු කළ යුතු දැනුවත් කිරීම් සිදු කර ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.