දේවස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ලවීමේ අවධානමක් යැයි WhatsApp පණිවිඩ යැවු ගණකාධිකාරිවරයා අත්අඩංගුවට

December 20, 2020 at 10:39 PM

දේවස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බවට වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

කඳාන ප්‍රදේශයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු ඊයේ දිනයේ දී කඳාන ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් එම වට්ස්ඇප් පණිවිඩය යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඉරිදා දිනයේ දී පල්ලි ආශ්‍රිතව පැවැත්වෙන දේවමෙහෙයන්වලට සහභාගී නොවන ලෙසත් පල්ලි ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට නියමිත බවත් එම පණිවිඩයේ සඳහන් ව තිබී ඇත.

එම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළ වයස අවුරුදු 31ක් වු වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කරන අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

සැකකරු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.