කොවිඩ් එන්නත ගන්න ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 1386ක්

December 20, 2020 at 11:09 AM

කොවිඩ් 19 වයිරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අසූහතරක් හෙවත් රුපියල් කෝටි එක්දහස් තුන්සිය අසූ හයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟත්වය පළ කර ඇති බව “අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

එන්නත ලබාගැනීම සහ සෞඛ්‍ය සේවාවන් සඳහා සහයෝගය ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන දහයක නියෝජිතයින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහි දී එන්නත ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කළ විට ආසියානු සංවර්ධන බැංකුව එම එකඟත්වය පළ කර ඇති බවයි පුවත්පත වාර්තා කර සිටින්නේ.

ඊට දායක විය හැකි බව ලෝක බැංකුවද ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට විස්සකට එන්නත ලබාදීම සඳහා මැදිහත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙහි දී යළි තහවුරු කර ඇත. චීනය හා ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත් රාජතාන්ත්‍රික මට්ටමෙන් ලබා ගැනීම කෙරෙහි සාකච්ඡා ආරම්භ කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය බෝ නොවන රෝග, කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා ප්‍රකාශ කළේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක ආහාර සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන දහයක මෙරට නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. එන්නත ගෙන්වීම, ප්‍රවාහනය හා ශීතාගාර ඉදිකිරීම සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැය වන බව රජය ගණන් බලා තිබේ.